මුල් පිටුව

“සුබුඩ් ශ්‍රී ලංකා” සංවිධානය හෙවත් “කොළඹ එකමුතුව” දීර්ඝ ඉතිහාසයක් ඇති ලෝකයේ පැරණිතම සුබුඩ් සංවිධාන වලින් එකකි.

වර්ෂ 1957 දී, සුබුඩ් සංවිධානයේ ආරම්භකයාණන් වන ඉන්දුනීසියානු ජාතික “පැක් ශුබුෂ්” විසින් සුබුඩ් පණිවුඩය ලංකාව වෙත ගෙන ඒමට තෝරාගනු ලබන්නේ ඔහුගේ සිත්ගත් තවත් ඉන්දුනීසියානුවෙකු වූ “ඉක්ශාන් අහමඩ් ය”. ඔහුගේ සහයට මරියානි අර්නෝල්ඩ් නමැති කාන්තාව ද සමග ඉක්ශාන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වර්ෂ 1958 ජනවාරි මස පළමුවෙනිදා ය. ඔවුන් ලංකාවේ මිතුරන්ට සුබුඩ් ප්‍රවේශය ලබාදෙන්නට ආරම්භ කරන්නේ මෙතැන් පටන් ය. ඉන් ඉක්බිතිව එම වර්ෂය පුරා තුන් වතාවක් ඉක්ශාන් ලංකාවට පැමිනෙන්නේ ඉතා පරිනත සහය වන පිරිස් සමගින් වන අතර ඔවුන් මේ කෙටි කාලය තුල ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට සුබුඩ් ප්‍රවේශය ප්‍රධානය කළහ. එනමුත් ඉන්දුනීසියාවෙන් බැහැරදී එනම් යුරෝපයේ සහ අනෙකුත් රටවලදී මෙන් ශ්‍රී ලංකාවේදීද අතිමහත් උනන්දුවකින් සහ කුතුහලයකින් යුතු සුවිශාල පිරිසක් ආරම්භයේදී සුබුඩ් වෙත ආකර්ෂණය වූ අතර පසුකාලීනව ඒ සමානවම පිරිසක් ඉන් ඉවත්වන්නටද විය. මේ ගැන ඉක්ශාන් අහමඩ් ගේ පැහැදිලි කිරීම අදටද වලංගු වන්නේය, එනම් “ඔබ සුබුඩ් වෙත පැමිණියේ වැරදි නිගමනයන් හෝ කල්පිතයන් නිසා නම් ඔබේ බලාපොරොත්තු ඉටු නොවන විට මෙහි තවදුරටත් රැදෙන්නේ නැත” යන්නැයි ඉක්ශාන් අහමඩ් යනු ඉමහත් කැපවීමකින් සුබුඩ් වෙත තම සේවය පුදකළ සහයවන්නෙකි. ඔහුව දැන හදුනාගත් සියලුදෙනාගේම සිත් තුල ඔහු කෙරෙහි ගෞරවයක් සහ ආදරයක් නිරුත්සහයෙන්ම ඇතිවීම වැලක්විය නොහැකි කාරණයක් විය. ඔහු එතරම්ම සොඳුරු මිනිසෙකි. මෙම මුල්ම කණ්ඩායමට බැදුණු ශ්‍රී ලාංකිකයන් අතලොස්සක් අද දිනද ඔවුන්ගේ සුබුඩ් අත්දැකීම් අප වෙත තිලින කරමින් ජීවතුන් අතර සිටිත්.

වර්ෂ 1958 ඔක්තෝබර් මසදී අවසන් වතාවට ඉක්ශාන් මේ පුංචි දිවයිනට පැමිණියේ සුබුඩ් ආරම්භකයාණන් වන පැක් සුබුෂ් සමගින් ය. ඔවුන්ගේ ආගමනය නිසාවෙන් ශ්‍රී ලංකාව තුල ස්ථිර ලෙසම සුබුඩ් ස්ථාපිත විය. ජීවමානවම සුබුඩ් අරම්භකයාණන් මුණගැසීමේ භාග්‍ය ලද පිරිස් පවසන පරිධි එය සුවිශේෂීය අත්දැකීමක්ම විය. මුල්ම වතාවට සුබුඩ් අත්දැකීමේ සජීවී තාවය ඔවුනට විදින්නට ලැබෙන්නේ මෙම හමුවීම් වලදී ය. මෙම පැමිණීමේදී පැක් සුබුෂ් විසින් පවසන්නට යෙදුනු සහ අද වනවිට සැබෑවූ අනාවැකියක් වුයේ සුබුඩ් ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමග අප රටේ සුබුඩ් සමාජිකයන් බොහෝ දෙනෙකු වෙනත් රටවල් කරා සංක්‍රමණය වනු ඇත යන්නැයි. පැක් සුබුෂ් හෝ බාපක් යනු ඉන්දුනීසියානු භාෂාවේ පියාණන් යන අරුත් ඇති වචනයන් ය. සුබුඩ් ආරම්භකයාණන් තමාව හැදින්වීමට යොදාගත්තේ මෙම යෙදුම් ය. මුළුමහත් සුබුඩ් කතාන්දරය තුලින් මතුවන විශ්මයජනක චරිතය වනුයේ මොහුය. එයට හේතු ගණනාවකි. ආගමික නායකයෙක් ලෙස තමාව හදුන්වා නොදුන්, උසස් අද්‍යාපනයක් නොලද, ඉතාමත් සරල, නිහතමානී සාමාන්‍ය මිනිසෙකු වූ මොහු, තමා පිළිබඳව අත්දැකීමෙන්ම, ඇසුරුකිරීමෙන්ම හඳුනාගන්නා ලෙස තම අනුගාමිකයන්ට පවසන ලදී.

එසේ එකම වරක් හෝ ජීවමානවම මුණගැසීමට අවස්ථාව ලද සියල්ලන්ටම මේ සරල බව, කාරුණික බව කැටිවුණු මිනිසා තුල පැවති සුවිශේෂී අසාමාන්‍ය ගුණය දැනුනු අතර ඔහුට සම්මුඛ වූ ඕනෑම පුද්ගලයෙකු ක්ෂණිකවම ඉතාමත් සුවපහසු ප්‍රමෝදජනක තත්වයකට පත්කරවාලීමේ විශ්මිත හැකියාවකින් යුක්ත වුයේ ය. ඔහු ගෙන් ප්‍රකාශ වුනු ප්‍රඥාව හෙතෙම වැනි සාමාන්‍ය අද්‍යාපනයක් ලත් කෙනෙකුගෙන් බලාපොරොත්තු වන මට්ටම මුළුමනින්ම අබිභවා ගිය කිසියම් වූ වෙනත් මුලාශ්‍රයකින් ගලාඑන්නාක් වැනි වුවකි. මොහුගේ ජීවිත කාලය තුල දී මෙසේ ඔහු හමුවූනු සියල්ලන්ටම තමා මෙතුවක් කලක් දැනසිටි සාමාන්‍ය ජීවිත අත්දැකීමෙන් ඔබ්බෙහි වූ කිසියම් විශිෂ්ට වූ අත්දැකීමක් තිලින විය.

පියාණන් තම ජීවිත කාලය තුල ලෝකයේ බොහෝ රටවල පිහිටුවාගත් සුබුඩ් පරිශ්‍රයන් ගණනාවකට සංචාරය කල අතර නොයෙකුත් ජාතීන් ගෙන් යුක්ත වූ සුබුඩ් සංවිධාන ගණනාවක් අමතා මේ සුවිශේෂි සුබුඩ් මාර්ගය පිළිබඳව පැහැදිලිකිරීමේ දේශණ දහස් ගණනක් ඉදිරිපත් කලේ අදාල ශ්‍රාවක පිරිසට මනාව ගැලපෙන පරිධි ය. මේ දහස් ගණනක් වූ දේශණ පටිගත කර අංකනය කොට සුරක්‍ෂිතව පවත්වාගන යනු ලබන්නේ අනාගත සුබුඩ් සාමාජිකයන් උදෙසා ය. පියාණන් කිසිදු විටක පෙර සුදානම් වීමකින් තොරව මෙම සෑම දේශනයක්ම ප්‍රකාශ කල අතර එම දේශණ වල අන්තර්ගතය ආයාසයකින් තොරවම ඔහුතුලින් ගලා එන ආකාරයක් සහ එය ඔහු නොවන වෙනත් මුලාශ්‍රයකින් පැනනගින බවක් දිස්වේ. මෙම දේශණ වලට මුල් වරට සවන්දෙන විට ග්‍රහණය නොවන ගැඹුරු අර්ථයක් දෙවන හෝ තෙවන වරට ශ්‍රවනය කරන විට ශ්‍රාවකයාට සන්නිවේදනය වීම සුවිශේෂී ලක්ෂණයකි. එබැවින් පියාණන් ගේ සැබෑ ස්වරුපයේ චායාමාත්‍රයන් පිළිබිඹු වන කැඩපතක් ලෙස මෙම දේශණ ක්‍රියාත්මකවේ. ඔහුම වරින්වර පවසා ඇති පරිධි හෙතෙම ඉටුකරනුයේ දෙවියන් විසින් ඔහුට පැවරූ වගකීමකි. මෙතනදී යොදාගත් “දෙවියන්(god)” යන සංකේතය වඩා සරළ සහ පහසු සන්නිවේදනය සදහා වන අතර “ස්වභාවික ජීවන බලය(natural life force ), මුලාශ්‍රය(the source), සර්වබලධාරී (almighty) ආදී වූ විවිධ නාමකරණයන් විශාල සංඛ්‍යාවකින්ද සන්නිවේදනය වන්නේ යම්කිසි එකම වූ පොදු ප්‍රභවයක් බව වටහා ගත යුතුයි. තවදුරටත් ඔහු පවසා සිටිනුයේ තම වගකීම නම් තමාවෙත ත්‍යාග ලද මේ පොදු ප්‍රභවයේ ආශිර්වාදය හෙවත් පිවිසුම් යතුර අවංක ඕනෑකමකින් යුතුව ඉල්ලා සිටින ඕනෑම මිනිසෙකු වෙත ඔහුගේ හෝ ඇගේ ජාතිය, ආගම, කුලය හෝ වෙනත් වර්ග කිරීමකින් තොරව ප්‍රධානය කිරීමයී. එහිදී මෙම ප්‍රවේශය ලබන්නාට පියාණන්ගේ මැදිහත්වීමකින් තොරව එම ප්‍රභවයට ඍජුවම සම්බන්දවී එය තමාටම අත්දැකීමට හැකිවේ. එමෙන්ම ඔහුට හෝ ඇයටද තවත් ඉල්ලා සිටින්නෙකු වෙත එම ප්‍රවේශය ලබාදීමට හැකිවීම මෙහි ඇති සුවිශේෂී ගුණයකි. පියාණන් විසින් මෙම අත්දැකීමේ සත්‍යතාව වටහා දෙනු පිණිස තත්ව පරීක්ෂණ උපායක් ද හදුන්වාදෙන ලදී. එමගින් තමා ලබන සුවිශේෂී අත්දැකීම් වල සත්‍යතාවය සැකයකින් තොරව තමාටම තහවුරු කරගත හැක. මෙසේ විශ්වාශය තහවුරු වීමෙන් තමා හට තමාතුලින්ම ජීවිතයට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාගැනීමට හැකිවීම මෙම සුබුඩ් මාර්ගයේ ඇති සුවිශේෂී ලක්ෂණයයි.

පියාණන් කිසිදුවිටෙක නීති රීති වලින් සුබුඩ් මාර්ගය සලකුණු නොකළේය. මන්දයත් මෙහි කිසිදු උගැන්වීමක් නොමැති බැවිනි. එසේ වන්නේ මේ මාර්ගයේදී ඔබට ලැබෙන්නේ තමාටම අනන්‍ය වූ ඍජු අත්දැකීමක් නිසාය. ඔබත් ඔබගේ මුල ප්‍රබවයත් අතර සම්බන්දයක් ගොඩනැගීම හරහා ඔබ වෙත ලටිහාන් නමැති ඉන්දුනීසියානු වදනින් සංකේත වන අධ්‍යාත්මික දැනුම් හා ශක්ති ධාරාවක් ගලාඑම සිදුවේ. එය ඔබගේ ග්‍රණය කරගැනීමේ ප්‍රමාණය සහ හැකියාව මත තීරණය වේ. පියාණන් මෙම අත්දැකීම ප්‍රථම වරට ලද තැනැත්තාය. එබැවින් ඔහු පැහැදිලි කරන්නේ මගසලකුණු පමණි. එයද අපට නිවැරදි සුබුඩ් මාර්ගයේ ගමන්කිරීම සඳහාය. මන්ද ඔහු එහි ඇවිදගිය පෙරගමන්කරුවා වන නිසයි.

ඉහත සඳහන් කරනලද තොරතුරු වලින් පියාණන් ලෙස තමාව හදුන්වාදුන් අපුරු මිනිසාගේ විශිෂ්ට ගුණාංග වල චායාමාත්‍රයක් අවබෝධ කරගැනීමට අපට හැකිවේ. ඔහු වර්ෂ 1987 දී මෙලොවින් නික්මුණි. එම අවස්ථාවේදී සුබුඩ් මාර්ගයේ අනාගතය කෙසේවේවිදැයි සැකයක් සාමාජිකයන් අතර මතුවිය. නමුත් ලටිහාන් ධාරාවන් කිසිදු වෙනසකින් තොරව මිනිසා වෙත ගලා ආවේය. පියාණන් වරක් සඳහන් කල පරිදි හෙතෙම ප්‍රථමයා මිස අන්තිමයා නොවේ. ඔබගේ මුල ප්‍රභවය හා සම්බන්දවීමට ඔබට කිසිවෙකුත් අවශ්‍ය නොවේ. එහෙත් සුබුඩ් මාර්ගය නිසි අයුරින් නොකිලිටිව, නොසැඟවී මානව උරුමයක් ලෙස පවත්වාගැනීමට වර්ෂ 1990 දී පටන් පියාණන්ගේ දෙටු දියණිය වූ ඉබු රහයු වෙත දිව්‍යමය මාර්ගෝපදේශය උරුම විය. ඇය පියාණන්ගේ මෙහෙවර තම උපරිම ශක්තියෙන් පවත්වාගෙන යනු ලබන්නීය. ඇය ගේ කැපවීම සුබුඩ් ප්‍රජාවගේ ගෞරවයට සහ ආදරයට ලක්වී ඇත. පියාණන් ඔහුගේ නික්මීමට ප්‍රථම සුබුඩ් මාර්ගය නිසිපරිදි මනුෂ්‍ය ප්‍රජාවේ උරුමයක් ලෙස පවත්වා ගැනීමට ජාත්‍යන්තර සංවිධානයක් බිහිකරන ලදී. එය ලෝක සුබුඩ් සංවිධානය නම්වේ. මෙහිදී ජාත්‍යන්තර සහය වන්නන් 18 දෙනෙකු එනම් පුරුෂයින් 9 යකුත් කාන්තාවන් 9යකුත් සෑම වර්ෂ 4 කටම වරක් තෝරාගෙන සේවයට යොමුවීම සිදුවේ. මෙම තෝරා ගැනීම් සිදුවනුයේද තත්ත්ව පරීක්ෂණ උපාය උපයෝගී කරගනිමිනුයි.

සාරාංශ වශයෙන් අප පාඨකයන් වෙතින් බලාපොරොත්තු වනුයේ අත්හදා බැලීමයි. තමාවම පරීක්ෂණයට ලක්කිරීමයි. ඔබට ඔබ ජීවන රටාවේ කිසිදු වෙසක් සිදු නොකර අවම කාලයක් වෙන්කරගනිමින් ස්වයං පරීක්ෂණයක් ආරම්භ කල හැක. චාර්ල්ස් ඩාර්වින් ට අනුව ලෝකයේ සත්ව පරිණාමය ස්වාභාවිකවම සිදුවේ. මිනිසා තම සිරුරේ සහ මනසේ සිදුවන පරිණාමයට නොදැනුවත්වම ලක්වේ. නමුත් එය දීර්ඝකාලීන ක්‍රියාවලියකි. අපගේ ජීවිත කාලය තුල ඇතිවන වෙනස නොපෙනෙන තරම්ය. නවීන ලෝකයට අධ්‍යාත්මික පරිණාමනය යනු පිටස්තර යෙදුමක් ලෙස පෙනේ. නමුත් පැක් සුබුෂ් හෙවත් පියාණන් මෙම අධ්‍යාත්මික පරිනාමනය සිය ජීවිතකාලයේදීම ළඟාකරගත් කෙනෙකි. ඔහුට එය අහම්බයකින් මෙන් අත්දකින්නට ලැබිණි. නමුත් ඔහු අපට මාර්ගය සලකුණු කර ඇත. අභියෝගය නම් එමග තරණයට ඔබ සුදානම්ද ? යන්නැයි. මන්ද යත් උත්සහයකින් තොර ජයග්‍රහණයක් නොමැති බැවිනි.

ලටිහාන් පිළිබඳව සහ තත්ත්ව පරීක්ෂණ උපාය පිලිබඳව වැඩිදුරටත් තොරතුරු සඳහා අප ගැන පිටුවට පිවිසෙන්න.